Wednesday 6th of May 2026

English Tamil
Advertiesment


Clean Sri Lanka ව්‍යාපෘතියට මුවා වී අශාන් කෝට්ටේවත්ත අත්අඩංගුවට ගැනීම හෙළා දකිනවා


2026-05-06 1300

 

ඔහු හෙළි කළේ එම ව්‍යාපෘතිය හරහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ජවිපෙ කරණය කරන බවයි 

 

-විපක්ෂ නායක අවධාරණය කරයි- 

 

මේ වන විට දෙහිවල ආසනයේ තරුණ ක්‍රියාකාරිකයකු වන අශාන් කෝට්ටෙවත්ත මහතා අත්අඩංගුවට ගැනීම නිසා එතුමාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් භාෂණයේ කතා කිරීමේ නිදහස තොරතුරු දැන ගැනීමේ නිදහස හා අදහස් ඉදිරිපත් කිරීමේ නිදහස මූලික හා මානව අයිතිවාසිකමක් ලෙස උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඒ අයිතිය ලබා දී ඇති බවත් අශාන් කෝට්ටෙවත්ත මහතා ලක්ෂ 220කගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කරමින් ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ නිලධාරීන් ලෙස සෑම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකට රජය ලබා දුන් පත්වීම් හරහා ක්ලීන් ශ්‍රි ලංකා වැඩපිළිවෙළ සහ ප්‍රාදේශීය ලේකම් පද්ධතිය ජවිපෙ කරණයට ලක් කිරීම රටට හෙළිදරව් කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පොලිස් අත්අඩංගුවට ගත් පත් අශාන් කොට්ටෙවත්ත මහතා හමුවීමට දෙහිවල පොලිස් ස්ථානයට පැමිණි අවස්ථාවේදීය.

මේ මොහොත වන විට අප රටේ සෑම ප්‍රාදේශීය ලේකම් හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල ජේවීපීකරණයට ලක්ව ඇති බවත් මේ ගැන කරුණු කාරණා හෙළිදරව් කළ නිසා දේශපාලන ගොදුරක් බවට පත් කළ බවත් නාගරික මන්ත්‍රීවරයකුගේ ඉල්ලීමකට නගර සභාවේ නිලධාරීවරයකු ලගට ගොස් එම මන්ත්‍රීවරිය නිලධාරීතුමියට වට්ස්අප් කළ තොරතුරු මුද්‍රණය කර නැවත මන්ත්‍රීවරියට ලබා දීම පමණක් කළ බවත් එය හොරකමක් නොව ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ක්‍රියාත්මක කිරීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අශාන් කොට්ටෙවත්ත මහතාගේ මූලික අයිතිවාසිකම් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය වීම ගැන පක්ෂයක් ලෙස සමගි ජන බලවේගය ගත හැකි ඉහළම නීතිමය පියවර ගන්නා බවත් මෙවැනි සුළු කරුණක් මුල් කර ගෙන මේ ආකාරයෙන් පොලිසිය තුළ රදවා ගැනීම ප්‍රජාතන්ත්‍ර විරෝධී අශිෂ්ට ක්‍රියාවක් බවත් මේ මර්ධනයෙන් මිදී මෙරට ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරක්ෂා කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ වෙනුවෙන් පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් ගත හැකි සියලුම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයන් ඉටු කරන බවත් මීට පෙරද මෙවැනි සිදුවීම්වලට එරෙහිව පක්ෂයක් ලෙස සමගි ජන බලවේගය පෙනී සිටි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.
 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment